යහපාලන මහබැංකු මංකොල්ලයෙන් පසු 2018 සිට EPF පොළිය ගෙවා නෑ

2018 වර්ෂයෙන් පසු මේ වන තෙක් සේවක අර්ථසාධක අරමුදල විසින් එහි දායකයින්ගේ ගිණුම් වල පැවති තැන්පතු සඳහා පොළී මුදල් ගණනය කොට ගිණුම් වලට බැර කර නොමැති බව වාර්තා වේ.

2018/12/31 දිනෙන් පසු එලෙස පොළී ගණනය කොට තම ගිණුම් වෙත බැර කර නොමැති බව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුරවැසියන් ප්‍රකාශ කර තිබූ අතර තම සේවක අර්ථසාධක අරමුදලේ ඉතුරුම් පොළී මුදල් වලට සිදුවූයේ කුමක්දැයි ඔවුන් ප්‍රශ්ණ කරති.

2015/16 වර්ෂ වල යහපාලන රජයේ නායකයින්ගේ ආශීර්වාදය යටතේ මහබැංකු අධිපති ලෙස පත්කළ අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස් මහතාට අයත් පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම විසින් සේවක අර්ථසාධක අරමුදල සතු මුදල් ණයට ලබාගෙන මහබැංකු බැදුම්කර වල ආයෝජනය කළ බව ප්‍රකට කරුණකි. සේවක අර්ථසාධක අරමුදලේ දායකයින්ගේ ගිණුම් වල පවතින ඉතුරුම් සඳහා පොළී ගණනය නොකිරීමත් මහබැංකු බැඳුම්කර වංචාවත් අතර සම්කිසි සම්බන්ධයක් තිබේද යන්න පුරවැසියන් ප්‍රශ්න කරති.

රජයේ සුරැකුම්පත් වල ප්‍රාථමික වෙළෙන්දෙකු වන පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම විසින් සේවක අර්ථසාධක අරමුදලේ සහ වෙනත් ආයතනවල අතරමැදියන් ලෙස කටයුතු කළ පුද්ගලයින්ට රුපියල් මිලියන ගණනක් ගෙවා ඇති බව බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ මේ වනවිට හෙළි වී තිබේ.

මහබැංකු බැඳුම්කර වංචාව නිසා සේවක අර්ථසාධක අරමුදලට සිදුවූ අලාභය ගණනය කිරීම සඳහා විශේෂ විගණන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට විවිධ පාර්ශව මේ වනවිටත් ඉල්ලීම් ඉදිරිපත්කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *