වන විනාශය වැලකීමට ගිය නිලධාරීන්ට පරිසර ඇමති බිරිඳගේ මැරයින් පහර දෙයි.

අනුරාධපුර, නාච්චාදූව ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු රක්ෂිත වනාන්තරයක් අනවසරයෙන් එළිකිරීමක් පිලිබඳ ලැබුණු තොරතුරක් මත එම වන විනාශය වැලක්වීමට ගිය වන සංරක්ෂණ නිලධාරින්ට මැර කණ්ඩායමක් පහර දී ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කැකිරාව අඩවියේ තිරප්පනේ බීට්ටු වන නිලධාරි කේ. එම්. කපිළ දිනේෂ්, එරුවාව වන ක්ශේත්‍ර සහකාර රවීන්ද්‍ර කුමාර යන මහත්වරුන් මෙලෙස පහර කෑමට ලක් වී ඇත්තේ පසුගිය 23 වැනිදා ය. එම පහර දුන් පිරිස පවසා ඇත්තේ තමන් පරිසර සහ ඉඩම් ඇමති එස්. එම්. චන්ද්‍රසේනගේ අවසරය මත මෙම කැලෑව එළි කරන බවයි.

මේ වනවිට ආදාළ වන සංරක්ෂණ නිලධාරින් දෙදෙනා අනුරාධපුරය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිදුවීම සිදු වී දින තුනක් ගතව ඇතත් තවම කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. මෙයට විරෝධය පා වනසංරක්ෂණ නිලධාරීන් අද (26) දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කොට නොමැති බවද වාර්තා වේ.

මේ පිළිබඳව ප්‍රාදේශීය වාර්තාකරුවන් මාර්ගයෙන් සොයා බැලූ අපට දැනගැනීමට ලැබුණේ පරිසර සහ ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේනගේ බිරිඳ විසින් මෙම පිරිස මෙහෙයවා ඇති බවය. මේ වන විටත් ඇමති චන්ද්‍රසේනගේ බිරිඳ පොලිස් ස්ථාන වලට දුරකථන ඇමතුම් දෙමින් මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට බලපෑම් සිදුකරන බව ද අනාවරණය විය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ලඟ ලඟම පැමිණෙන බැවින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගැනීමේ අරමුණින් ඇමති චන්ද්‍රසේන මේ වන විට තම ඇමති බලතල අයුතු ලෙස භාවිතා කරමින් ලහි ලහියේ ජනතාවට අල්ලස් වශයෙන් ඉඩම් බෙදාදෙමින්, වන අලි පලවා හැරීමට යැයි පවසා කැලෑ වනසමින්, ගිනි අවි බෙදමින් උමතුවෙන් මෙන් කටයුතු කරන බව ප්‍රදේශවාසීන් පවසයි.

මේ වන විට පරිසර සහ ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේනගේ අනුබලය මත අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම පිහිටි ඔරුගලයාය රක්ෂිතය සහ මෙම නාච්චාදූව රක්ෂිතය වනසා තිබේ. එමෙන්ම රාජාංගණය යාය 18 ප්‍රදේශයේ විල්පත්තු ජාතික වනෝද්‍යාන මායිමේ ප්‍රේරක කලාපය වනසමින් කෝමාරිකා වගා ව්‍යාපෘතියක් සිදුකිරීම සඳහා මැදිහත් වී ඇත්තේද පරිසර ඇමති චන්ද්‍රසේන බව තතු දත් ආරංචිමාර්ග පවසයි. ඔහුට විරුද්ධව පරිසර සංවිධාන ප්‍රමුඛ සිවිල් පුරවැසියන්ගෙන් විශාල විරෝධයක් එල්ල වෙමින් තිබෙන නමුත් ඔහුගේ මෙම අත්තනෝමතික වැඩපිළිවෙල පිලිබඳ ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ අවධානය තවමත් යොමුවී නොමැති වීම කණගාටුවට කරුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *