ගම්පහින් තවත් දේශපාලන පෙරළියක් – සජිත් පිළ පරයා රතන හිමිගේ අපේ ජන බල පක්ෂය හිස ඔසවයි

ශ්‍රී ලාංකික දේශපාලනයේ නොසිතූ විරූ පෙරළි ඇති කිරීමට පෙළඹෙන දිස්ත්‍රික්ක අතුරින් ගම්පහ දිස්ත්‍රික්කයට  ප්‍රමුඛස්ථානය හිමි වේ. එදා මෙදා තුර ගම්පහ දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසි දේශපාලකයන් ශ්‍රී ලංකාවේ දේශපාලන දිශානතිය වෙනස් කිරීමට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළහ.  මෑතකාලීනව පාර්ලිමේන්තුවේ විනය විරෝධී ආන්දෝලනාත්මක චරිත වශයෙන් හඳුනාගත් දේශපාලකයින් තෝරා පත්කර ගැනීම නිසා ගම්පහ ජනතාවට සෙසු දිස්ත්‍රික්කවල ජනතාව උසුළු විසුළු කලත් ඓතිහාසිකව ගත් කල ගම්පහ දිස්ත්රික්කයේ ජනතාව ශ්‍රී ලාංකික දේශපාලනයේ සුවිශේෂී චරිත රැසක් බිහි කිරීමට විශාල දායකත්වයක් සැපයූහ. 

2020 මහ මැතිවරණය අභිමුව ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලනය පිළිබඳ විමසා බැලීමේදී සුවිශේෂී කරුණු කිහිපයක් නිරීක්ෂණය කිරීමටත් ඒ මත පිහිටා යම් යම් අනාවැකි පළ කිරීමටත් හැකියාවක් පවතී.  මේ අතුරින් ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් තරගවදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිලි බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට පත්වන බව නොරහසකි. 

කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇති තීරණාත්මක අර්බුදය හමුවේ මේ වන විට මෙම පාක්ෂිකයින් තමන් ඡන්දය භාවිතා කළ යුත්තේ කුමන පාර්ශ්වයට ද යන්න තීරණය කර ගැනීමට නොහැකිව ව්‍යාකූලත්වයකට පත් ව තිබේ.  විශේෂයෙන්ම සමගි ජන බලවේගය සහ එජාපය අතර පවතින ගැටුම්කාරී වාතාවරණය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ඔවුන් පොදුවේ හිමිකර ගැනීමට හැකියාව තිබු ආසන ප්‍රමාණය බෙදීයාමේ ප්‍රවණතාවේ අවිනිශ්චිත භාවයක් පවතී.

එජාපයේ තත්ත්වය තවත් තීව්‍ර වන්නේ සිංහල බෞද්ධ පදනමකින් දේශපාලන ප්‍රවේශයක් ගැනීමට සැරසෙන අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් යුතු අපේ ජන බල පක්ෂය ආගමනයයි.  පවතින වාතාවරණය තුළ රතන හිමියන්ගේ අපේ ජන බල පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිත්වය සහ එම පක්ෂයට ඇති ජනතා ආකර්ෂණය ගැන සැලකීමේදී එළැඹෙන මහ මැතිවරණයේ දී එජාපයේ කලකිරී ඇති බෞද්ධ පදනමක් සහ සහිත ඡන්ද මෙන්ම පොහොට්ටුවට ආකර්ෂණය වී තිබූ බෞද්ධ පදනමක් සහිත පාවෙන ඡන්ද විශාල ප්‍රමාණයක් රතන හිමිගේ පක්ෂයට ලැබේ යැයි අනුමාන කළ හැක.

විශේෂයෙන්ම ජාතික තලයේ දේශපාලනයක දශක කිහිපයක් නිරත වූ පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ පසුගිය කාලයේ විල්පත්තු වන සංහාරය ඇතුළු රටේ විශාල පරිසර ප්‍රශ්න ගණනාවකදී සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කළ පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් ප්‍රමුඛව ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වදින අපේ ජන බල පක්ෂයේ අපේක්ෂකයින් බෞද්ධ චන්ද පදනමක් සහිත ඡන්ද කොට්ඨාශවල සැලකිය යුතු මට්ටමේ ජනාකර්ෂණයක් මේ වන විටත් අත්පත් කර ගෙන තිබේ. එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කළ  වියත්මග ඇතුළු විවිධ කණ්ඩායම් වල කැපී පෙනෙන චරිත කිහිපයක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් අපේ ජන බල පක්ෂය ඔස්සේ තරග වදී. සුනේත්‍රා සමරකෝන් මහත්මිය සහ  නීතිඥ ජනක හේවාසිංහ මහතා ප්‍රමුඛ අපේක්ෂකයින් ඒ අතුරින් කැපී පෙනේ.

පසුගිය වසරේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයත් සමග ඇතිවූ ජාතිකවාදී නැඹුරුවක් සහිත දේශපාලන ප්‍රවාහයේ බලපෑම ගම්පහ දිස්ත්‍රික්කයට තදින් බලපාන්නේ  ප්‍රහාරවලින් කිහිපයක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදු වූ බැවිනි. ප්‍රධාන පක්ෂ තුනම පාස්කු ප්‍රහාරය සම්බන්ධව සෘජුව අදහස් පල නොකරන පසුබිමක මෙවර මහ මැතිවරණයේදී අතුරලියේ රතන හිමියන්ගේ අපේ ජන බල පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයින් එම අවස්ථාව මේ වන විටත් අත්පත් කර ගෙන තිබේ. 

එමෙන්ම පොහොට්ටුව බහුතර ආසන සංඛ්‍යාවක්  දිනා ගන්නා නමුදු වියතුන්ට නාමයෝජනා නොදීමේ අර්බුදයත්,  එලෙස නාමයෝජනා නොලැබුණු ඇතැමුන් අපේ ජන බල පක්ෂය ඔස්සේ තරග කිරීමත් හමුවේ පොහොට්ටුවට හිමිවීමට  නියමිතව තිබූ සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් රතන හිමිගේ පක්ෂයට හිමි වීමේ ප්‍රවණතාවයක් ද පවතී.

මෙම කරුණු සලකා බැලීමේදී ඉදිරි මහ මැතිවරණයේදී ම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය සුවිශේෂී එකක් වනු නොඅනුමානය. එජාපය තනි පක්ෂයක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළේ නම් ලබාගත හැකිව තිබූ ආසන සංඛ්‍යාව සමගි ජන බලවේගය සහ එජාපය අතර බෙදී යෑමෙන් එම පාර්ශව දෙකෙන් කිසිවෙකුටත් දෙවැනි ස්ථානයට පත් වීමේ කියාව අහිමි විය හැක. බෞද්ධ ඡන්ද පදනම ආකර්ෂණය කරගනිමින් සිටින අතුරලියේ රතන හිමියන්ගේ අපේ ජන බල පක්ෂය බොහෝවිට ඉහත අවස්ථා උපයෝගී කොට ගනිමින් ආසන 4ට ආසන්න ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් දිනා ගැනීමේ අවකාශය අත්පත් කරගෙන සිටී. එසේ වුවහොත් ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවන බලවේගය වශයෙන් අතුරලියේ රතන හිමි ගේ පක්ෂය ජයග්‍රහණය කරනු ඇත.

බෞද්ධ පදනමක් සහිත නායකයින්, වෘත්තිකයින් සහ ව්‍යාපාරිකයින් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වන අපේ ජන බල පක්ෂය එළැඹෙන මහ මැතිවරණයේදී දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක වලින් තවත් ආසන කිහිපයක් දිනා ගත හොත් ඔවුන් නිසැකවම පාර්ලිමේන්තුවේ තුන්වැනි බලවේගය බවට පත්වීමට නියමිතය. 

1 thought on “ගම්පහින් තවත් දේශපාලන පෙරළියක් – සජිත් පිළ පරයා රතන හිමිගේ අපේ ජන බල පක්ෂය හිස ඔසවයි

  1. රිෂාඩ් විතරක් වත් ඡන්දයට කලින් හිරේ දාන්න බැරි නම්,අපිත් හාමුදුරුවන්ගේ පක්ෂයට වැඩ කරනවා. Peter Hammond ගේ Slavery Terrorism and Islam නැමති විශිෂ්ට පර්යේෂණ කෘතියේ තිබෙන දේවල් දැන් ලංකාවෙත් සිදුවේගෙන යනවා.
    http://www.abdullahsameer.com ද බලන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *