අපේ ආහාර සුරක්ෂිතභාවය ගැන නැවත සිතමු

Food security

මුල් සිදගත් අපේ ආහාර ස්වෛරිභාවය ආහාරය පදනම් කොට ගෙන ඒ මත ගොඩනැගුණු සංස්කෘතියකට උරුමකම් කියූ පැරැන්නන් සොබාදහමේ ඉබේ වැවෙන ආහාර ද්‍රව්‍ය සොබාදහමට අනුකූලව හාවිතා කලහ. කලට උචිත භෝග වගාකොට ලබා ගන්නා එළවළු, පලා, පළතුරු, අල, කුළුබඩු බෝග ඇතැම් ධාන්‍ය වර්ග සහ ඹෟෂධ වර්ග පැණි, හකුරු ප්‍රධාන කොටගත් ආහාර ද්‍රව්‍ය පමණක් නොව, මී ගව, එළ ගව, ගම් කුකුළු සහ මී මැසි පාලන වැනි සත්ත්ව පාලනය මුසුකොට ගෙන පෝෂණයෙන්, ගුණයෙන් සපිරි ආහාර වේලක් භුක්ති වින්දහ. එහි අතිරික්තය අනාගතය සදහා සුරක්ෂිත තබා ගැනිමටත් ඔවුහු දැන සිටියහ.

එමෙන්ම තමන් ජිවත්වන පරිසරය අනුව කටුක දේශගුණය, ජලයේ කිවුල නිසා ඇතිවන අබාධවලින් වැළකීම සදහා සොබාදහම දායාද කරන ලද ඖෂධිය ගුණයෙන් සපිරි ආහාර පාන පරිභෝජනය කරන ලදි.

උදාහරණයක් ලෙස, කැකිරි, මුරුංගා, පුහුල් වැනි දේ ආහාර ලෙසත්, වියළි කලාපයේ වැවෙන නීරමුල්ලිය, පොල්පලා, රණවරා, ඉරමුසු, මුං ඇට, බෙලිමල්, බෙලිගැට මද, ඉගිනි ඇට, මාදං ඇට පානයන් වශයෙනුත් ගත් අතර එමගින් ඔවුහු සිය නීරෝගී බවත් කාය ශක්තියත් පිරිපුන්ව තබා ගත්හ.

ඔවුන් අද වන විට යටත්විජිතවාදීන් හුරු කළ තේ පානයට කොතෙක් දුරට ඇබිබැහිවී ඇත් ද යත් ඉහත සදහන් ඖෂධීය පානයන් හාවිතා කරන්නන් ඇත්තේ ඉතාම සීමිත පිරිසකි. මේ අතර කූඨ වෙළෙන්දන් විසින් පරිභෝජනයට කිසිසේත් නුසුදුසු තේ පදනම් කොටගෙන නිපදවන තේ පානයට ඇබිබැහි විමෙන් ද අතුරු ආබාධ රැසකට ගොදුරු වී ඇති අතර කෘතිම පැණි බීම, කෝලා ඇතුළු ක්ෂණික කෘතීම පානයන්ට ද යොමු වීමෙන් තත්ත්වය තවදුරටත් උග්‍රවි ඇත.

තමන් පරිසරයෙන් සපයාගන්නා හා වගාකොට නිපදවන පෝෂණ ගුණයෙන් අනූන ආහාර ද්‍රව්‍ය පරිහොජනයට සකස්කොට ගන්නා විවිධ ඉවුම් පිහුම් ක්‍රම ද පරපුරෙන් පරපුරට ඉදිරියට ගෙන ආ අතර වෙළෙදපොළට බැඳුණු සිමාසහිත වට්ටෝරු ගත ආහාර පරිභොජන රටාවකට කොටුවිමත් සමග එම මහඟු දැනුම් සම්භාරය වත්මත් කාන්තාවන්ගෙන් ගිලිහුණු අතර ඒ නිසාම ඖෂධ හා පෝෂණයෙන් සපිරි ආහාර සපයා දුන් ජාන සම්පත් රැසක්ම අපට අහිමි විය.

යටත්විජිතවාදීන් වාණිජ වගාවන් කිරීම සදහා ගම්බිම් කොල්ලකෑමෙන් එතෙක් තමන්ගේ ආහාර අවශ්‍යතා සදහා සියළු දේ තමන් වගාකර ගැනිමේ අභිමානය දෙදරා වැටුණි. යටත්විජිතවාදීන් හුරු කළ ආනයනික, පෝෂණයෙන් හීන ආහාරවලට ඇබ්බැහිවීමෙන්, හරිත විප්ලවයත් සමඟ හඳුන්වාදුන් ඒක බෝග රටාවක ගොවිතැන, කෘෂිකර්මය බවට හරවා වාණිජකරණය කිරිමත්, අදූරදර්ශී විවෘත කළ ආර්ථිකයත් නිසා ගොවීන් බහුතරයකට තමන්ට උවමනා ආහාර වගාකොට සපයාගැනිමේ ස්වයංපෝෂිත රටාවෙන් පිට පැණීමට සිදුවිය.

එහිදි එක් බෝගයක් වගාකොට විකුණා ලැබෙන මුදලින් මිරිස් කරලේ, පලා මිටියේ සිට සියල්ලම වෙළෙදපොලෙන් ලබාගන්නා වාණිජ රටාවකට අනුගත විය. බොහෝ ගොවිහු අද තමන් වවන සිමිත භෝගවලට මිල නියම කිරිමේ අයිතිය ඔවුනට අහිමිවීමත්, මිලදීගන්නා සබ්බ සකලමනාවේම මිල වෙළෙන්දන් තීරණය කිරිමත් යන දෙයාකාරයෙන්ම සූරාකෑමට ගොදුරුව සිටිති.

වගාබිම්වලට යොදන විෂ රාසායනික හේතුවෙන් පළමුව තමන්ම ගොදුරු වී, අනතුරුව පවුලේ සාමාජිකයන් ද, පසුව ආහාරයට ගන්නන් ද, සමස්ථ පරිසර පද්ධතිය ද වනසමින් කෙරෙන්නා වූ නිශ්පාදන වැඩි ජල ප්‍රතිශතයකින් යුතුවේ. ඒ නිසා බහුතරයක් බෝග අපතේ යන අතර පරිහෝජනය කරන්නාට අධික මිලක් ගෙවීමට ද සිදු වේ. නිපදවන්නාට නිශ්පාදන පිරිවැය පියවාගත නොහැකි ආකාරයෙන් අඩුම මිලක් ලැබීමේ විෂම ක්‍රියාවලියක් දක්නට ලැබේ. එයින් අතරමැදියා වැඩිම ලාභයක් ද ලබයි.

අනෙත් අතට සොබාදහමට අනුගත නොවන නවීන කෘෂිකාර්මික ක්‍රම අසීමාන්තිකව අනුගමනය කිරීම නිසා ගොවියන්ට නිසරු පොළොවත්, පිරිහුණු පරිසරයත් සමඟ වස විස භාවිතයන් හා පෝෂිත ගුණයෙන් හීන ආහාරත්, වස විසෙන් සපිරි දූෂිත ජලයත් උරුම වී තිබේ. ඒවා භාවිතය නිසා භයානක රෝගාබාධ රැසකට ගොවි පවුල් සෘජුවම ගොදුරුවී සිටින අතර නිශ්පාදන ක්‍රියාවලියට ඔවුන්ගේ ශ්‍රමය දායක කරගැනීමේ හැකියාව ද පහළ වැටී තිබේ. මෙරට දුප්පතුන් බහුතරයක් නියෝජනය කරන්නෝද ඔවුහුය. එහි සෘජු ප්‍රතිඵලය වී ඇත්තේ නීරක්තියෙන් පෙළෙන හා අතුරු ආබාධවලට ගොදුරු වූ මවුවරුන් හා උග්‍ර මන්දපෝෂණයට ගොදුරු වූ දරුවන් බහුතරයක් රටේ අනාගතය සදහා බිහි වි සිටිමයි. ආහාර ස්වෛරීභාවයේ උරුමකරුවන් වූ පරපුරක වත්මත් ගොවිජන බහුතරයකගේ තත්ත්වය මෙය නම් වෙළදපොල මත යැපෙන සෙසු පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය සහ පෝෂණය කෙසේ විය හැකිද?

දිනෙන් දින කිසිවෙකුට පාලනය කල නොහැකි ආකාරයට ඉහළ යන ජීවන වියදම හමුවේ මෙම තත්ත්වය දරාගැනීමට මෙරට බහුතර ජනයාට හැකිද? එසේම ගොවිතැනට අවැසි උදැල්ලේ සිට යන්ත්‍ර සූත්‍ර ඒවායේ අමතර කොටස් ඉන්ධන බීජ රාසායනික පොහොර විස රසායන ද මේවා පදනම් කොටගෙන නිපදවු ආහාර පාන භාවිතයෙන් රෝගී වන සමස්ථ ජනතාවට සෞඛ්‍ය පහසුකම් සැපයීමට මෙන්ම ප්‍රතිකාර කිරිමට අවශ්‍ය ඖෂධ ආනයනයට උග්‍ර ණය බරින් පීඩිත අප රටට පුථවන්ද?

මෙම තත්ත්වයෙන් මිදීමට නම් තරමක් දුරට හෝ පිළියමක් සපයා ගත හැක්කේ ඉඩකඩ ඇති සැම නිවසක් අවටම උපරිම අන්දමින් තමන්ට අවශ්‍ය ආහාර භෝග වැඩි සංඛ්‍යාවක් වගාකර ගැනිමෙනි. ඒ අතරම සීමිත ඉඩකඩ ඇති අයට ද පුහු අලංකාරයෙන් බැහැරව එළවළු සහ පළා වර්ග අලංකාරවට වගාකර ගැනීමෙන් තරමක් දුරට හෝ මෙම අවධානමෙන් මිදිය හැක.

කෙරෝනා වසංගතය නිසා ලොව සිදුවෙන සියල්ල දෙස අළුත් මානයකින් සිතීමට ලෝකයට සිදුවී ඇති අතර ඒ නිසාම ඔබට ලැබි ඇති විවේකය ඵලදායි කාර්‍යයකට යොදවන්නේ නම් එය රටට මෙන්ම ඔබට ද යහපත පිණිස හේතු වනු ඇත.

පාලිත වික්‍රමරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *