බදුර්දීන්ගේ මුදලින් නැවත වන වගා කරන්න – විල්පත්තු නඩු තීන්දුව

Wilpattu Judgement Delivered

විල්පත්තු උතුරු පෙදෙසේ රක්ෂිත වනාන්තර අක්කර දහස් ගණනක් හෙළි කරමින් අනවසර ජනාවාස ඉදිකිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අහියාචනාධිකරණය හමුවේ ගොනු කළ “CA writ 291/15” අංක දරන රීට් පෙත්සම සම්බන්ධ නඩු විභාගයේ තීන්දුව අභියාචනාධිකරණය විසින් අද (16) ප්‍රකාශයට පත්කරන ලදි.

විල්පත්තු වනාන්තර පද්ධතියේ කල්ලාරු වනාන්තරය එළිකොට අනවසර ජනාවාස ඉදිකිරිම නීතිවිරෝධි බව අභියාචනාධිකරණය අද දින තීන්දු කරනු ලැබීය. එමෙන්ම විනාශ කළ වනාන්තර කලාපයේ ජනාවාස සෑදූ ප්‍රදේශවල ගස් සිටුවීමට පියවර ගන්නා ලෙස එම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් වෙත නියෝග කර ඇති අතර, ඒ සඳහා වියදම් වන මුදල පෙත්සමේ තවත් වගඋත්තරකරුවකු වන හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගෙන් අයකර ගන්නා ලෙස නියෝග කෙරුනි. ඊට අමතරව පැමිණිලි පාර්ශ්වයේ නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසද අභියාචනාධිකරණය විසින් පෙත්සමේ වග උත්තරකාර පාර්ශ්වයට නියෝග කරන ලදි.

මෙම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් 2020 ජුලි මස 31 වන දිනට දින නියම කර තිබූ නමුත් පැවති කොවිඩ් වසංගත වාතාවරණය හමුවේ එදින එය ප්‍රකාශයට පත්වූයේ නැත.

පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරන ලද මෙම පෙත්සම විනිසුරු ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දෙවන වරට විභාග කරන ලදි. 

මෙම පෙත්සම විභාග කිරීම පසුගිය වසරේ අගෝස්තු මාසයේදී අවසන් කොට තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, මෙම පෙත්සම එවර විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා සිය තීන්දුව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම පෙත්සම නැවත නව විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම ආරම්භ විය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, මධ්‍යම පරිසර අධිකාරිය, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු කිහිප දෙනෙකු නම් කර තිබුණි.

විල්පත්තු වනාන්තර පද්ධතියේ උතුරු ප්‍රදේශයේ රක්ෂිත වනාන්තර හෙළි කිරීම සහ නීතිවිරෝධී ලෙස පුද්ගලයින් නැවත පදිංචි කිරීම විශාල පාරිසරික විනාශයකට හේතු වී ඇති බව පවසමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් 2015 දී මෙම පෙත්සම ඉදිරිපත් කළ අතර එමගින් වනාන්තර රක්ෂිත ප්‍රදේශයක නීතිවිරෝධී ලෙස නැවත පදිංචි කිරීම ඉවත් කරන ලෙස රිට් ඔෆ් සර්ටියෝරාරි සහ මැන්ඩාමුස් නියෝගයක් ඉල්ලා සිටියේය.

විල්පත්තු වන විනාශයට එරෙහිව පරිසර සංවිධාන, සිවිල් සංවිධාන, ආගමික නායකයින් ප්‍රමුඛ පුරවැසියන්ගෙන් විශාල විරෝධයක් පසුගිය වසර කිහිපය තිස්සේ එල්ලවූ අතර පරිසර සංරක්ෂණය දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවටද පත්විය.

මෙම නඩුව වෙනුවෙන් පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතාගේ මෙහෙය වීමෙන්, නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා සහ නීතිඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මිය ප්‍රමුඛ නීතිඥ මඩුල්ලක් පෙත්සම්කාර පැමිණිලි පාර්ශවය නියෝජනය කරන ලදි.

නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා මාධ්‍ය අමතමින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *