මුතුරාජවෙල ඉඩම් මංකොල්ලයට එරෙහිව කාඩිනල් හිමි පෙරමුණට

Muthurajawela land grabbing

මුතුරාජවෙල සහ මීගමු කලපු සංරක්ෂිත ප්‍රදේශ රැකගැනීම අරඹයා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා 2021 ජනවාරි 07 වන දින අගරදගුරු නිල නිවසේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූහ. පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි (සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය), දිනූශ නානායක්කාර මහතා (මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය), හේමන්ත විතානගේ මහතා (පරිසර යුක්ති කේන්ද්‍රය), ප්‍රදේශයේ දේවස්ථාන බාරව කටයුතු කරන ගරු ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා සහ එම ප්‍රදේශයේ දේවස්ථාන වල ගරු පියතුමන්ලාගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ මාධ්‍ය සාකච්චාව පැවැත්විය.

මුතුරාජවෙල තෙත් බිමේ වැදගත්කම හා විශේෂත්වය

මෙම තෙත් බිම අදින් වසර 5000කට පමණ පෙර ආරම්භ වන්නට ඇති බව භූවිද්‍යාඥයන්ගේ මතය යි. කෝට්ටේ යුගයේ දී (15-16 සියවස්) මුතුවන් සහල් ලබාදුන් විශාල වෙල්යායක් මේ ප්‍රදේශයේ පැතිර තිබුණා.

ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පුරන්වූ කුඹුරු යායකි. බටහිර වෙරළ තීරය දිගේ පැතිරුණු උතුරින් මීගමු කළපුවත්,දකුණින් කැලණි ගඟත්,බටහිරින් වෙරළ තීරයෙන් හා නැගෙනහිරින් කොළඹ-මීගමු ප්‍රධාන මාර්ගයෙන් ද සීමා මායිම්ව පිහිටා ඇති මුතුරාජවෙල ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය අතින් අනූන බිමකි.මීගමු කලපුවත් එක්ව ගත් කල මුතුරාජවෙල වගුරු බිම අක්කර හත්දහසක් පුරා ව්‍යාප්තව පවතී.

මෙම කුඹුරු යාය හරහා අතීතයේ ලන්දේසීන් විසින් නිර්මාණය කරන ලද මෝඩ ඇල හේතුවෙන් මුතුරාජවෙල කුඹුරු යායට කරදිය ගලා ඒම හේතුවෙන් පුරන් විය.

මුතුරාජවෙල තෙත් බිම යනු කුමක්ද?

මුතුරාජවෙල තෙත් බිම ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත පරිසර පද්ධතියකි.එබැවින් මෙහි වෙසෙන සියොතුන් අතර දේශීය මෙන් ම විදේශීය පක්ෂීන් ද වේ.මෙය කිවුල්දියට ම ආවේණික වූ කඩොලාන පරිසරයකින් ද, විවිධාකාර සියොතුන් හා උභය ජීවීන්ගෙන් ද, විවිධ කෘමිවිශේෂ හා ජලජ පැළෑටිවලින් ද ස්වයංපෝෂිත වූ තෙත් බිමකි.

මෙම තෙත් බිම බොහෝ සත්ත්ව හා ශාක වර්ග ගණනාවකට නිජබිමක්ව පවතී.කලපුව හා ඍජුව සම්බන්ධ වී නිර්මිතව ඇති බැවින් ධීවර පවුල් 3200කට පමණ ජීවනෝපාය සැලසී ඇත.ශ්‍රී ලංකාවේ නැංගුරම්ලන ධීවර යාත්‍රාවලින් 15% ක් පමණ මුතුරාජවෙල කලපු තීරය නැංගුරම්පළක් ලෙස භාවිතා කරයි.

මෙම ප්‍රදේශය මත්ස්‍යයන් හා ඉස්සන්ගේ අභිජණන මධ්‍යස්ථානයක් වන අතර එළවළු, පළතුරු , ඖෂධ හා දැව සපයන ප්‍රභවයක් ද වේ. ඉතා ම ජනාකීර්ණ ප්‍රදේශයක් වන මහ කොළඹ ප්‍රදේශයේ හරිත පෙනහළු ලෙස කටයුතු කරන මුතුරාජවෙල තෙත් බිම ස්වභාවික ගං වතුර පාලනයට ද ඍජු දායකත්වයක් ලබා දෙයි.

ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන ධීවර කර්මාන්තයට රුකුලක්ව පවතින මුතුරාජවෙල තෙත් බිම සංචාරක ව්‍යාපාරයට ද දායකත්වයක් ලබා දෙයි. ඊට ප්‍රධාන හේතුව ප්‍රදේශය පුරා පැතිරී ඇති සොබාසෞන්දර්යයි. මුතුරාජවෙල ඔස්සේ සිය ගමන් මග සකසාගෙන ඇති ප්‍රධාන ඇල මාර්ග දෙක වන හැමිල්ටන් ඇල සහ ඕලන්ද ඇල එම සොබාසෞන්දර්යයේ මුලිකාංගයකි.

මෙම ඇල මාර්ග දෙක දෙපසින් පිහිටා ඇති හරිත වර්ණයෙන් බබලන කඩොලාන තීරය ද දුටුවන් මන බදනා පාරිසරික චමත්කාරය විදහා පායි.තව ද මෙම කඩොලාන තීරය ඔබ්බෙහි පවතින “කුරුලු උයන” ප්‍රදේශයට අපූර්වත්වයක් එක් කරයි. මෙරට පක්ෂීන් මෙන්ම විදේශ රටවලින් පැමි‍ණෙන සංචාරක පක්ෂීන්ගෙන් ද මෙම උයන අසිරිමත් ව පවතී.

වර්තමානයේ මෙම තෙත් භූමිය ඉතාමත් අනතුරුදායක තත්වයක පවතී.. ඒ නම් විවිධ රජයන් යටතේ දේශපාලන හිතවතුන් වෙත මෙම තෙත් භූමියේ ඉඩම් අනවසර ලෙස බැහැර කිරීමයි.

මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය විනාශ කිරීමට දේශපාලකයන් හා නිලධාරීන් මින් පෙර ද අවස්ථා බොහොමයක කටයුතු කර ඇත. පසුගිය කාලයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීල් රූපසිංහ මහතා විසින් මුතුරාජවෙල තෙත්බිමේ විශාල භූමි ප‍්‍රදේශයක් ගොඩකර නිල්සිරිගම නමින් ගම්මානයක් බිහි කළේ ය.මෙහි අහිතකර ප‍්‍රතිඵල භුක්ති විඳින්නේ එහි වත්මන් පදිංචි ජනතාවයි. වර්ෂා කාලයේ දී ගොඩ කළ තෙත්බිම් මත ගොඩනැඟූ නිවාස දින ගණනාවක් ජලයෙන් යට වී පවතී. එම කාලයට වසංගත රෝග බෝවීම ප‍්‍රදේශයේ උග‍්‍ර මට්ටකට පත් වේ. දේශපාලනඥයින් ගේ අඥාන තීරණවල අහිතකර ප‍්‍රතිඵල අවසානයේ භුක්ති විඳින්නේ මෙහි පදිංචි වූ අහිංසක, අසරණ ජනතාව යි.

ඇතුලත මාර්ග ඉදිකිරිම ඉතා පැහැදිලිවම දැකගත හැකි වේ. වර්තමානය වන විට අක්කර 700කට අධික භූමි ප්‍රමාණයක් විවිධ ව්‍යාපාරිකයින් විසින් අනවසරයෙන් අල්ලාගෙන සිටී.. වනජීවි සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පුවරුද විනාශ කර ඇත.. එපමණක් නොව වර්තමානය වන විටත් මෙම තෙත් භූමිය විනාශ කරමින් සීදුව සහ ජාඇල නගර සභා මගින් කසල බැහර කිරීමෙන් දැඩි පාරිසරික විනාශයක් සිදුවේ.

2006 වර්ෂයේ එවකට පරිසර අමාත්‍යවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් පත්‍රයක් මගින් මෙම තෙත් භූමිය සංවර්ධනය කල යුතු කලාපයක් ලෙස නම් කිරීමත් සමග අනවසර අල්ලාගැනීම් බහුල විය. මේවන විටත් ඇතැම් ස්ථාන වල ඇතුලුවීම තහනම් බවට දන්වමින් පුද්ගලික පුවරුද බහුලව දැකිය හැක. විටින් විට බලයට පැමිණි රජයන් වෙත මෙම තෙත් භූමිය අාරක්ෂා කරන ලෙස පරිසරවේදීන් ඉල්ලීම් කරද එය තුත්ටුවකට මායිම් නොකර ඇස් පියා සිටීම නිරන්තරයෙන් දැකගත හැකි විය.

පසුගිය දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වූයේ වර්තමාන පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම කලාපය නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම භූමිය තුල අැති කර්මාන්තශාලාවල පරිසර බලපත්‍ර අහෝසි කරන බව පැවසීමත් සමගයි.

නමුදු මේවන තුරුත් අනවසර ඉඩම් අල්ලාගැනීම් ගැන කිසිදු තැකීමක් නොදැක්වීම හේතුවෙන් පසුගියදා (07) අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපානන්ද මුතුරාජවෙල සටන වෙනුවෙන් තම හඬ අවදි කරන ලදී. ඒ මෙතෙක් මෙම කලාපය ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන් බිමේ සිටි සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ, මුතුරාජවෙල සුරකීමේ එකමුතුව වෙනුවෙන් දිනූෂ නානායක්කාර මහතා, පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් හේමන්ත විතානගේ මහතා, වැසිවනාන්තර සුරකින්නෝ වෙනුවෙන් ජයන්ත විජේසිංහ මහතා ඇතුළු තවත් පරිසරවේදීන්ද සමගින්ය.

කාදිනල් හිමිපානන් ඇතුළු පිරිස රජයෙන් ඉල්ලා සිටින්නේ ඉතා ඉක්මනින් මෙම භුමියෙහි අනවසර ඉදිකිරිම් සහ අනවසර සංවර්ධන කටයුතු නවතා දමන ලෙසත් මෙම තෙත් භූමිය ආරක්ෂා කිරීම වෙනුවෙන් බලධාරීන් මැදිහත් වන ලෙසත්ය.

කසුන් සඳකැලුම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *